Wednesday, April 6, 2011

නෙතට උළෙලක් විය එදා ඔබ..

ජීවිතේ මහා පුදමාකාරයි. ආදරේ ඊටත් වඩා පුදුමාකාරයි නේද. කෙනෙක්ගෙ හිතට සුවය සැනසුම ගෙනෙන සතුට ගෙනෙන ජීවිතේට ජීවය දෙන උතුම්ම මානුෂීය බැඳීමක් තමයි ආදරය කියන්නෙ. අපිව සතුටින් මුසපත් කරවන අපේ සිත් සැහැල්ලූවට පත් කරන අපේ තනිකම නිවන මෙන්න මේ ආදරය කෙනෙකුගෙ හිතට විටෙක සතුටක් වගේම විටෙක මහා වේදනාවක් ගෙන දෙන අපූරුව.

‘‘ඔයා තමයි එදා මගේ ඇස් වලට මගේ හිතට සතුට ගෙනාවෙ. දරා ගන්නත් බැරි තරමටම ඔයා මට ආදරේ කළා. ඔයා තමයි ජීවිතේ හැම මොහොතකම මාව සතුටින් තිබ්බෙ. මාව ඔයාගෙ ජීවිතේම කොටසක් කරගෙන ඔයා මට ආදරේ කළා. අපි සතුටින් ආ ගිය තැන්. ඇවිදපු තැන් මට මතක් වෙනවා. ඒත් කිසිම දවසක මම හීනෙන්වත් නොහිතපු විදියට ඔයා අද මගේ හිත පාරනවා. ඔයා මට පොරොන්දු වුණා. කවමදාවත් මගේ හිත රිද්දන්නෙ නැහැ කියලා. ඒත් අනේ මගේ හිත රිදෙනවා. අද මම අඩනවා. මම ඔයාට ආදරෙයි. ඔයා මගේ හිත රිද්දනවා. මට කියන්න. මොකක්ද මගෙන් ඔයාට සිද්ධ වුණ වැරැුද්ද. ඒත් කමක් නැහැ. මම ඔයාට ආදරෙයි. ඔයා නැති ජීවිතයක් මට හිතාගන්න බැහැ. ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ. ඒ තරමටම මගේ ජීවිතේ මට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ඔයා මතම රැුඳිලා. හරි පුදුම විදියට. ඒක වෙන කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි තරමටම මහා පුදුම බැඳීමක්. ඉතින් ඔයා යන්න එපා. යන්න එපා. ඔයා ගියොත් මට සතුටින් ජීවත් වෙන්න බැරි වෙයි. එහෙම වුණොත් ඇත්තටම එහෙම වුණොත් ඒක මට දරා ගන්න අමාරුයි.

මං එහෙම කියන්නෙ ඔයා මටම අයිති කර ගන්න තියෙන ආත්මාර්ථකාමී අදහසකින් නම් නෙමෙයි. මම ඔයාට ආදරෙයි. මම එහෙම කියන්නෙ දරා ගන්න බැරි තරමටම මම ඔයාට ආදරේ හින්දා. අනේ සමාවෙන්න. ඒක ආත්මාර්ථකාමී හැඟීීමක් කියලා ඔයාගෙ හිත රිද්දනවා නම්. ඔයාව මේ ලෝකෙ තවත් කෙනෙකුගෙ ඇස්වලට සොඳුරු දසුනක් වුණාට කමක් නැහැ. තවත් කෙනෙක්ගෙ හිතේ ඔයා ගැන ආදරේ ඇති වුණාට කමක් නැහැ. ඒත් මම කියන්නෙ ඔයාව තවත් කෙනෙක්ට අයිති වෙන්න දෙන්න නම් බැහැ. ඔයා අයිති මට. එහෙම කිවුවෙ ඔයාමයි. ඔයාට මතකයි නේද ? මම ඔයාට ආදරෙයි.. මට බලාගෙන ඉන්න බැහැ ඔයා තවත් කෙනෙක්ට අයිති වෙනවා. ඒ ඔයා මට පුදුම විදියට ආදරේ කරපු නිසා. මමත් ඒ තරම්ම ඔයාට ආදරේ නිසා.’’


අපේ රටේ ප‍්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ නම් වූ මහාර්ඝ ගායකයාණන් විසින් තමයි මේ අපූරු ගීතය ගායනා කරන්නෙ. ඔබත් මේ ගීතයට බෙහෙවින්ම ඇළුම් කරනවා ඇති. හරිම අපූරු පද වැලක්. පද රචකයා නම් හොයා ගන්න බැරි වුණා. ඔයාලා දන්නවා නම් මට කියන්න. ඇත්තටම ආදරේ හරිම පුදුමයි. එක් එක් අය ආදරේ විඳින විදිය විවිධයි. ආදරය දකින විදිය විවිධයි.

මම මේ ලියන්න උත්සාහ ගත්තෙ මේ ගීතයේ ගැබ් වෙලා තියෙන දේ. මේ විදියට මේ අත්දැකීමෙ හැඟීීම් මට දැණුනා. මට ගොඩාක් දුක හිතෙනවා මේ පද වැල ඇහෙනකොට. හරිම සංවේදී පුදුම ලස්සන ගීතයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා හරිම බොළඳ අදහස් කියලා. ආදරය කියන දේ වෙලාවකට කෙනෙක්ව හසුරුවන්නෙ හරියට පුංචි ළමයෙක්ව හසුරවනවා වගේ කියලා මට හිතෙනවා. ආදරේ සුන්දරකම වැඩි වුණාම බොළඳයි කියන අදහස එන්න පුළුවන්. ඒ වගේම දුක්බර ගීතයක් ලස්සන වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. වේදනාබර පද වැලකට වුණත් මිහිරි තනුවක් යොදලා සියුම් කට හඩකින් ඔපවත් කළාම අමිහිරි අත්දැකීමක වුණත් මිහිරක් විඳින්න අපිට පුළුවන්. ඔබත් රස විඳින්න මේ ගීතය. මම කියපු දේවල් සමහර විට ඔබටත් දැනේවි...

නෙතට උළෙලක් විය එදා ඔබ


කඳුළු බිඳුවක් වුව මෙදා


මේ තරම් හිත පාරවන්නේ


මගෙන් වරදක් වුණිද මන්දා.....

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන


සිතන්නටවත් නොහැකි හින්දා


ඔබේ සිත වෙන අතක රන්දා


එපා දුක ගෙන එන්න කැන්දා.....


ඔබේ නෙත රසඳුනක් වූවට


කමක් නැහැ මට තවත් ඇසකට


නමුදු ඒ රුව තවත් කෙනෙකුට


අයිති වනු බැහැ දරා ගන්නට.....