Friday, June 22, 2012

පළමු හාද්ද වනාහි

සාහිත්‍යය යනු ජීවිතයේ සියුම් තැන් මෙන්ම ජීවිතයේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නට සමත් ප‍්‍රබලතම ගද්‍ය කාව්‍යයකි.

ඛළිල් ජිබ්රාන් නම් කතුවරයා විසින් ලියන ලද රචනයක පළමු හාද්ද සහ විවාහ බන්ධනය වනාහී යනුවෙන් මගේ සිත් ගත් සොඳුරුබර අදහසක් මා මෙසේ සටහන් කරමි.

පළමු හාද්ද වනාහි

එය, දෙවඟන විසින් ජීවිතයේ අමෘතය හා සමඟ මුව විට දක්වා පුරවා කුසලානේ ලා පානය කරන ලද පළමු බිඳුව වන්නේය. ආධ්‍යාත්මය රවටන්නා වූ සහ ආත්මය දුකෙහි හෙලන්නා වූ සංශයත්, සහෘදයා තුළ ආනන්දය ගලා යන නිශ්චිත භාවයත් යන දෙක බෙදා වෙන් කරන රේඛාවක් එය වන්නේය. එය ජීවන ගී පොතේ පළමු ගීය වන්නේය.

එය උත්කෘෂ්ට මිනිසාත් සමගිය අවසන් වන නාට්‍යයේ පළමුවන ජවනිකාවත් වන්නේය. එය අතීතයේ පැවති අන්ධකාරය සහ අනාගත මහා ආලෝකය අතරත් බන්ධනය වන්නේය. හැඟීම්වල නිහඩතාව සහ ඒවායේ ගීතය අතරැති බන්ධනය එය වන්නේය. එය හදවත සිංහාසනයක් බවට පත් කරන්නා වූ ද, පේ‍්‍රමය ඔටුනු පළඳවන්නා වූ ද, තොල් සතරකින් ගැයෙන සංගීතයක නාද මාලාව වන්නේය. එය රෝස මල් නම් දෙතොල් පෙති තුලින් සහනදායී දිගු හුස්මකුත්, මුදු කෙඳිරියකුත් නංවාලන්නා වූ මුදු අතැඟිලි නම් මඳ පවනින් ස්පර්ශ කිරීම වන්නේය.

පළමු හාද්ද වනාහී, ද්විමාන, ති‍්‍රමාන ආදී මානයන් සහිත ප‍්‍රකෘති ලෝකයෙන් ස්වප්න සහ ශැතිය සහිත ලෝකයක් කරා පෙම්වතුන් රැගෙන යන්නා වූ ආශ්චර්යවත් ස්පන්දනයෙහි ආරම්භය වන්නේය.
පළමු හාද්ද නම්, තම පරාග සම්මිශ‍්‍රණයෙන් තෙවන ආත්මයක් ජනිත වනු පිණිස සිදුවන සුගන්ධවත් දෙපුෂ්පයක සුසංගමය වන්නේය.

පළමු බැල්ම මිනිස් හදවත නම් වූ කෙතෙහි දෙවඟන විසින් වපුරන ලද ධාන්‍ය බීජය හා සමාන වන්නාක් මෙන් පළමු හාද්ද වනාහී ජීවිත වෘක්ෂයෙහි අතු අග පිපෙන පළමු කුසුම වන්නේය.

විවාහ බන්ධනය වනාහි

පේ‍්‍රමය, විවාහ බන්ධනයත් සමඟ ජීවිතයේ ගද්‍ය කාව්‍යය, නිශා කාලයේ රචිත සංගීත රචනාවන්ගෙන් යුතු දිවා කාලයේ ගයනු ලබන්නා වූ සුගායනීය තුති ගීතිකාවක් බවට පරිවර්තනය කරන්නේය. විවාහ බන්ධනයත් සමඟ පේ‍්‍රමයේ ප‍්‍රාර්ථනාව තම මූණ වසා ඇති ආවරණය ඉවත ලා හදවතෙහි ගැඹුරු තැන් කෙරෙහි ආලෝකය විහිදන්නේය. එය වෙනත් කිසිම සන්තුෂ්ටියකට තමන් ඉක්මවාලන්නට නොහැකි සන්තුෂ්ටියක් මවාලන්නේය. වඩා පැහැදිලිව කියතහොත් එය දෙවියන් විසින් ස්පර්ශිත ආත්මයක් වෙත ඇති සන්තුෂ්ටිය මවාලන්නේය.

විවාහ බන්ධනයක් වනාහී තෙවැන්නකු මෙලොව ජනිත වනු පිණිස සිදුවන දේවාත්මක ද්විත්වයක සුසංගමය වන්නේය. එය උත්කෘෂ්ට වූ පේ්‍්‍රමයක් පදනම් කරගෙන, ද්වෛතය අහෝසි කිරීමේ පරමාර්ථයෙන් ආත්ම දෙකක් සිදු කෙරෙන සංගමයක් වන්නේය. විවාහය යථෝක්ත උත්තරීතර සංගමය කරා මෙහෙයවන්නේ වෙනස් වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් උපන් දෙයාකාර වූ ආධ්‍යාත්ම ද්විත්වයක් මත පදනම් වෙමිනි. එය බැල්මකින් ඇරඹුණු සදාතනිකත්වය තුළින් අවසන් වන දම්වැලෙක රන් මුදුව වන්නේය. එය දිව්‍යමය ස්වභාව ධර්මයේ කෙත්වතු පොහොසත් කිරීමටත් ඊට ආශීර්වාද කිරීමත් පිණිස සුපිරිසිදු වූ නබෝ ගැබෙකින් ඇද හැලූණු සුපිරිසිදු වූ වර්ෂාවක් වන්නේය.

පෙම්වතා කෙරෙහි හෙළන පළමු බැල්ම මිනිස් හදවතේ වපුරන්නා වූ බීජ හා සමාන වන්නා සේ, තොල් පෙති මත තබන පළමු හාද්ද ජීවිත වෘක්ෂයෙහි අතු අග පිපෙන පළමු කුසුම වන්නා සේම, සුපෙම්වතුන් දෙදෙනෙකුගේ වෛවාහික සංගමය වනාහි මෙම වපුල බීජයේ පළමු කුසුමේ පළමු පළතුර වන්නේය.