Friday, January 13, 2012

ශ්වේත රාති‍්‍රය




මගේ ජීවිතයේ මම ලබපු සතුටුම අත්දැකීම. මගේ ජීවිතේ මම පුදුම විදියට සතුටු වුණ දවස. මම ලබපු රස අපමණයි. ඒ තමයි ශ්වේත රාති‍්‍රය....

නන්දා මාලනියන් ශ්වේත රාති‍්‍රයේ ගීත ගයනවා අහන්න දකින්න මම පෙරුම් පුරපු තරම්. ඒක හීනයක් වෙයි කියලයි මම හිතන් හිටියෙ. ඒත් මගේ ඒ හීනය සැබෑ කරගෙන දෙනෝ දාහක් සෙනඟ අතරින් එතුමියගේ ප‍්‍රසංගය නරඹන්න පොරකමින් ටිකට් පතක් මිලදී ගන්න මටත් වාසනාව ලැබුණා.
එතුමියගේ ගීතවලට මම පුදුම විදියට ආසයි. ශ්වේත වර්ණයෙන් බැබලූණ වේදිකාවට ශ්වේත වර්ණයෙන් සැරසුණ නන්දා මාලනිය නම් වූ ඒ සහෘද තරුව පායගෙන එනකොට මගේ හිතට දැනුණ සතුට වචන වලින් කිව නොහැකි තරම්. ඒ සතුට කියන්න බැරි තරම්. මගේ හිතට පුදුම මිහිරක් ගෙන දෙනවා. හිතට වෙහෙසක් දැනුණ වෙලාවට, දුකක් දැනුණ වෙලාවට මම ඇහුම් කන් දුන්නෙ නන්දා මාලනියන්ගේ ස්වරයට. ඇය මගේ හිත නිවන තරම්. මම බණ අහනවා. පොත් කියවනවා. හිත නිවා ගන්න කිසිවෙකුටත් බරක් නොවී ගුණ ධර්මවලින් පිරුණු යහපත් මනුස්සයෙක් විදියට සැහැල්ලූවෙන් ජීවත් වෙන්නයි මම කැමති.

‘‘කලා වැවෙන් ගත් දිය දෝතක් සේ අගී අගී ඔබ මටමැ අගී’’ කියන ගීතයෙන් වේදිකාවත් සහෘද රසික පිරිසත් අමන්නාදන්දයට පත් කරවමින් ප‍්‍රසංගය ආරම්භ කළ මේ මහාර්ඝ ශිල්පිනියගේ හඩ මගේ හිතට වගේම රැස්ව සිටි අධික ජන ගංගාවගේ සිත් සතන්වලටත් කියා නිම කළ නොහැකි තරම් ආශ්වාදයක් ගෙන ආ බවට නම් කිසිම සැකයක් නැති තරම්.
ඇත්තටම නන්දා මාලනියනි,


ඒකයි මගේ හිතේ ඇය වෙනුවෙන් ඇගේ ප‍්‍රසංගය ගැන මේ විදියට වචන ගොනු වෙන්නෙ. ඇගේ ස්වරය සංගීතයට මුසු වෙනවාත් සමඟම වේදිකාව ශ්වේත වර්ණය මුසු කරමින් ගෙන දුන් නන් විධ ආලෝකයෙන් පෙරළුණු පරිවර්තනයත් මගේ හිතට පුදුම විදියට දැනුණා.

ඒ සියල්ලම මුසු වුණු ඇගේ ස්වරය මගේ හිත දැහැන්ගත කළා. වේදිකාවෙන් නෙත් ඉවතට ගන්නට පවා අමතක වුණු සියලූ ශ‍්‍රාවක පිරිස පවා මම දැක්කෙ ඒ විදියට. සියල්ලන්ම නිහඩව නිසලව නෙත් යොමාගෙන සවන් යොමාගෙන බලා හිටියෙ ඇය ගී ගයන දිහාව. නන්දා මාලනියන් දිහාව. ඇය ගී ගයන අපූරුව. සජීවීව දාහක් සෙනඟ අතරෙ වාඩිගෙන ඇය ගී ගයන අපූරුව.

ජීවිතේ මා මෙතෙක් ගෙවූ සතුටුම පැය කිහිපය තමයි එදා ගෙවුණෙ. නන්දා මාලනියනි, ඇත්තටම ඔබට බොහෝ පිං.

ඇය ගී ගයන අපූරුව මම මීට කලින් දැකලා තිබුණෙ රූපවාහිනියෙන් පමණයි. පුංචි කාලෙ ඉඳන්ම මට ඇගේ ගීත අහන්න පුදුම විදියෙ ආසාවක් තිබුණා. මම ඇගේ ගීත ලියනවා. අහනවා, පාසලේ විවිධ ප‍්‍රසංගවලදි මම ඇගේ ගීත ගායනා කරලා තිියෙනවා. එදා ඉඳන්ම නන්දා මාලනියන්ගේ වැඩසටහනක් රූපවාහිනියෙ යනවා නම් මම අනිවාර්යයෙන්ම ඒක නරඹනවා. ඒ තරම්ම මම ඇයගේ ගීතවලට පි‍්‍රයයි. ශ්වේත රාති‍්‍රය නමින් ප‍්‍රසංගයක් රට පුරාම පවත්වන බව මම දැන ගත්තාම නුවරටත් එන දවස එනකල් මම ඇඟලි ගැන ගැන බලන් හිටියෙ.

‘‘තරුද නිදන මහ රෑ’’ ගීතය ගයනවාත් සමඟම නීල වර්ණයෙන් වේදිකාව වර්ණ ගැන්වුණ ආකාරය ඒ මතට ඇගේ හඩ පතිත වුණ අපූරුව.

තරුණ තරුණියන් බොහොමයක් දෙනා එදා ඇවිත් හිටියා. ඒ විතරක් නෙමෙයි. සීයලා ආච්චිලා පවා ඇයව අහන්න දකින්න ඇවිත් හිටියා. ඒ ඇවිත් හිටියෙ ඇයව දකින්න. ඇයව අහන්න. ඇගේ ගීත වල රසය විඳින්න මිසක් ඇගෙන් වෙන කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් ලබන්න නම් නෙමෙයි.

අවසානයේ මම ඇයට පිං දුන්නා. ගීතයක රසයක් විඳින්න ගීතයක් අහලා ඒ තුල දැහැන්ගත වෙන්න හිත සමාධිගත කර ගන්න මට ශක්තිය දීපු මගේ දෙමව්පියන්ටත් පිං. දෙනෝ දාහක් සෙනඟ අතරින් ඇය අසළට ගිහින් ඇගේ අතින් අල්ලන්න බොළඳ ආසාවක් මගේ හිතටත් ආවා. ඒත් ඒ මහා සෙනග කන්දරාව මැද්දෙන් ඈ අසළට කොහොම යන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. මම ඇගේ ගීතවලට පුදුම විදියට ආදරෙයි.

ඒ වගේම ඇගේ ගීතවලට පද අමුණන ඒ අග‍්‍රගණ්‍ය සුනිල් ආරියරත්නයන් හට පමණක් නෙමෙයි ඒ අපූර්ව වූ අපේත් මගේත් සිත් ඇද බැඳ ගන්න තරම් වූ තනු පබඳින රෝහණ වීරසිංහයන් හටත් බොහෝ කාලයක් අපේ සිත් සතන් තුළ තවත් ජීවමානව රැුඳෙන්නට වරම් ලැබෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.

ප‍්‍රසංගය ක‍්‍රමයෙන් නිමාව කරා ළං වුණා. මට නම් කාලය ඉක්මනින්ම හොරු අරන් ගියා වගේ මහා ලොකු දුකක් දැනුණා. ශ්වේත වර්ණයෙන් හැඩවුණ වේදිකාව තුළිින් ‘‘ඔබයි රම්‍ය සඳ කිරණ’’ ගීතයේ තේමා සංගීතය වැයෙනකොට මගේ හිතට දැනුණ හැඟීම හරිම සුන්දරයි.
නන්දා මාලනිය ඒ ගීතය ගයන අපූරුව.

ආදරය, විරහව, දුක, සතුට, සැනසුම, වියෝව, විරහව, අභිමානය ආදී සියල්ලම කැටිවුණ ගීත පෙළක් ඇය ගායනා කළා. ඇත්තටම ඔබ තමයි අපේ සංගීත ලෝකයේ අපේ ගායන ලෝකයට පායපු රම්‍ය සඳ කිරණ.

ප‍්‍රසංගය නිමා වුණා. ඇය වේදිකාව අසළ හැමෝටම ආචාර කරන්න පටන් ගත්තා. පසුපසින් ‘‘ඔබයි රම්‍ය සඳ කිරණ’’ ගීතයේ සංගීතය වැයෙද්දි රැස්ව සිටි සියලූ දෙනාත් ඇයට ආචාර කරන්න ඇය වටා රොක් වෙන්න පටන් ගත්තා.

ප‍්‍රසංගය නරඹන්න ගියපු අපි නෙමෙයි එතනින් පිටවුණේ. අළුත් හැගීම්, අළුත් සතුටක් එක්ක අළුත්ම අළුත් අත්දැකීමක් ලබා ගත්තු අළුත් අපි තමයි එතනින් පිටවෙලා ආවෙ. ඇත්තටම අළුත්. නවමු අත්දැකීමක්.

නන්දා මාලනියනි, ඔබට දිගාසිරි... අපේ සවන් පිනෙව්වාට... අපේ හිත් සුවපත් කළාට...