Thursday, February 24, 2011

ආදරයත් හරියටම වැස්ස වගෙයි...


පසුගිය දිනවල ඇද හැලූණූ මහ වැස්ස නිසා මිනිස්සු කොයි තරම් නම් අසරණ වුණාද ? ඇත්ත තමයි. මහා මුරුගසන් වර්ෂාවක් දින ගණනාවක් ඇද හැළිලා අපේ රටේ ලක්ෂ ගණන් මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි කළා. එහෙම වෙනකොට ආයෙත් නම් වැස්ස එපා කියන ප‍්‍රාර්ථනාව කී දෙනෙක්ගෙ නම් මුවින් පිටවෙන්න ඇතිද ? ඒත් වැස්ස නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද ?

මට හිතෙන්නෙ ආදරයත් හරියට වැස්ස වගේ. කෙනෙකුගෙ හිතක් නිවන්න, සනසවන්න, සැහැල්ලූවට පත් කරන්න පුළුවන් එකම මානුෂීය බැඳීම ආදරය කියලා මට හිතෙන නිසයි මම එහෙම කියන්නෙ.

වැස්සක් වැස්සාම අපේ ගතට දැනෙන සිසිලස, සැනසුම, මිහිර, සැහැල්ලුව අපමණයි. වැස්ස ලැබෙනකල් සමහර මිනිස්සු මඟ බලාගෙන ඉන්නවා. වැස්ස ලබා දෙන්න කියලා අහස දිහා බලාගෙන පැතුම් පුරන ප‍්‍රාර්ථනා කරන අපමණක් මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ජීවිත ගැට ගහගන්න වැස්ස නැතිවම බැරි සාධකයක් වුණ මිනිස්සු ඒ විදියට වැස්ස ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

ඒ නිසාමයි මම කිව්වෙ ආදරයත් හරියටම වැස්ස වගෙයි කියලා. මිනිස්සුන්ට ආදරය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද ? හිතට සැනසීීමක් හිතේ දුකක් තැවීමක් නිවා ගන්න බැරුව ළතැවෙමින් ජීවත් වෙන්න පුළුවන්ද ? ඒක හරිම අමාරුයි නේද ? ආදරය කියන මහා ප‍්‍රබල මිනිස් හැඟීමට පුළුවන් මනුස්සයෙක්ට ජීවිතේ දෙන්න. ආදරයත් එක්ක මනුස්සයෙකුගෙ හිතේ ඇති වෙන සතුට පුදුම විදියට ඒ කෙනාව ජීවත් කරනවා.

මටත් ඒ සතුට දැනෙනවා. ආදරය මිනිස්සුන්ගෙ හිත් නිවන තරම්, මිනිස්සුන්ගෙ හිත් සනසන තරම්, නළවන තරම්.. ඒ දේ මට හොඳටම දැනෙනවා. ඇත්තටම ඒ දේ මට මහා මෙරක් තරමටම දැනෙන්නෙ ඔබ නිසා. මම ආදරය කරන මට ආදරය දුන් ඔබ නිසා. හරියටම වැස්සක් වගේම ඔබේ ආදරේ මගේ හිත නිවනවා. ඒ නිවෙන සැනසුම මට දුන්න නුඹට බොහෝ පිං.