Monday, November 21, 2011

හංස විලාපය



වියළි වී රුදුරු වී
ඉරි තලා මහ පොළොව
දිය බිඳක් අයදින්න
මුව අයා අහස දෙස
තුටු මුවේ සිනා මල්
කඩින් කඩ පිනි වැස්ස
වැටුණු කළ
ඛේදයකි .. ඛේදයකි ..
ඉරි තලා යයිද හෙට
එකම එක මේඝයත්
දුර ඈත..
දුර ඈත..

Tuesday, September 27, 2011

ආදරය.. ජීවිතය..


බමනවා මහ පොළොව
හිරු එළිය වසනවා..
බෙදනවා ඒ කිරණ
සඳ කැල්ම ගෙනෙනවා..
ගෙවෙනවා දින මාස
නුඹ දුරස් කරනවා..
හදනවා ඒ තුළම
ජීවිතය ලැබෙනවා..

Saturday, September 10, 2011

ආදරේ...



විදාලා යුග නුවන්
බෙදාලා හස කුසුම්
නොකී කී අන්ත දුර
බැඳී ඒ ආදරේ
ගෙවන තුරු මහ ගමන
එකම එක
ආදරේ...

Tuesday, September 6, 2011

මවකගේ සිතුවිලි..


නුඹ කුසට වැඩිදා
මගේ නෙතගින්
සතුටු කදුලැලි ගැලූහැටි
දුටුවාද පුතේ...

යනෙන ඇවිදින අතර
කළ නොකී වැඩ අතර
මා නුඹව දැරූ හැටි
දැනුනාද පුතේ...

දිව බොජුන් නොතිබි මුත්
රස නහර පිනා යන
වැළදු හැටි දුකත් මම
හැගුණාද පුතේ...

ලොව එළිය දුටුදා
මගේ පොඩි පුතු වෙත
මා ලයෙහි සෙනෙහස
දැනුනාද පුතේ...

සිප් සතර ඉගෙනගෙන
ලෝකයම දුටුව නුඹ
මට මහා මෙරක් බව
සිතුනාද පුතේ...

අත පයම දුබල වී
සිහිසුන්ව ඇද වැටෙන
වයස් ගත මගේ ගත
වාරු නැත පුතේ...

මගේ අත් එක් කොට
මගේ සිත නිවන්නට
පිරිත් පදයක් දෙකක්
කියාපන් පුතේ...

ලෝකයම ජයගෙන
නුඹේ නම රැුකගෙන
සසර මතු කවරදා
බුදු වෙයන් පුතේ...

Sunday, August 28, 2011

හීන පොඩිත්ත...





සුදෝ සුදු සෙනේ වැසි

හළ හළා

හීන් හීන පොඩිත්ත..

සුසුම් වත යදම් බැමි

සීරුවට අබිබවා

සිසිල දුන්

හීන පොඩිත්ත..

ලොව පුරා මා සෙවූ

මගේ ඒ හීන පොඩිත්ත..

Monday, August 22, 2011

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ...




කලා වැවෙන් ගත් දිය දෝතක් සේ

වටී වටී ඔබ මටමැ වටී

බෝධියකින් වට බෝ කොළයක් සේ

අගී අගී ඔබ මටමැ අගී


කැටපත් පවුරින් ගිලිහුණු කවියක්

සොරකම් කරගත් සෙරක ලෙසින්

සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ

තනිවම කියවමි

පදරුත් පසිඳමි


සමනළ සිරසින් විහිදුණු බුදු රැස්

සියැසින් දැකගත් මෙහෙණක මෙන්

පරමානන්දය ලබමින් ඔබ ළග

සගමොක් සැපතෙහි

අම රස වළඳමි


හඩ - විශාරද නන්දා මාලනී

ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ



පේ‍්‍රමය වෙනුවෙන් මෙතෙක් බිහිව ඇති ගීත අතුරින් මගේ සිත බෙහෙවින්ම ඇළුම් කළ ගීතයක් තමයි මේ.


උත්තරීතර පේ‍්‍රමය හේතුවෙන් සිතක හට ගන්නා වූ ආනන්දනීය වූත් පරම රමණීය වූත් වඩාත් ප‍්‍රහර්ෂාත්මක හැගීම් සමුදායක් මෙම ගීතය තුළින් වඩාත් සොඳුරු ලෙස ගී සිත්තමකට මුසු කොට ඇති අයුරු මට මෙන්ම ඔබටත් දැනෙනු නොඅනුමානයි.



















Wednesday, August 17, 2011

ඔබ සිතිය යුතුම දෙයක්..



මට ‍ෙමි ගැන ටිකක් හිතන්න හිතුණා. අපි ජීවිතේ කොතෙක් සැප සම්පත් භුක්ති විඳින්න පොර කනවද. හැම වෙලාවෙම අපි උත්සාහ දරන්නෙ තවත් කෙනෙක්ට වඩා ඉහළින් කැපී පෙනෙන්න. එහෙමත් නැතිනම් තමන්ගෙ ළගින්ම ඉන්න හිතවතුන්ටත් නොකියා ඒ අයගේ දේවලූත් කඩා වඩාගෙන පැනලා දුවන්න. ජීවත් වෙලා ඉන්න ටිකේ උපරිම සැප විඳලා මැරිලා යන්න ඕන කියලායි ගොඩ දෙනෙක්ගෙ අදහස. ඒ අදහස හරිද. සැප විඳින්න ඕන තමයි. එක එක්කෙනා උරුම කරගෙන එන පිං පව් වලට අනුව ඒ ඒ අය සැප විඳනවා. දුක් විඳිනවා.


මේ ජීවිතේ පමණයි මේ ආත්මය පමණයි අපි මැරිලා ගිහින් ආයෙමත් මේ සැප මැද්දෙම උපත ලබනවා කියන හැඟීම දරාගෙනයි මේ මිනිස්සු ජීවත් වෙන්නෙ කියලා මට හිතෙනවා. මිනිස්සු සැප විඳිනවා. ඒ සැප කියන්නෙ මොනවද. මොකද්ද. යාන වාහන, තට්ටු ගෙවල් දොරවල්, නවීන පන්නයේ විලාසිතා, කෑම බීම, උසස් නිලතල දැරීම, උසස් නිලතල දරන්නන් ඇසුරු කිරීම. මේ වගේ දහසකුත් භෞතිකමය සැප සම්පත් වගේම ඒ දේවල් ඔස්සේ ජීවත් වෙන්න හීන දකින එක තමයි අද මිනිස්සු සැප විදියට දකින්නෙ. ඇත්ත ලෝකය, ජීවිතේ සැබෑ යතාර්ථය සැප කියන මුලාවෙන් තමන් විසින්ම වහගෙන ඉන්න සැබෑ බව කිසිම කෙනෙක් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නැහැ. සැපයි සැපයි කියලා ජීව්තේ සුුන්දරත්වයක් මවාගෙන උදම් අනන්න උත්සාහ ගන්නවා පමණයි.


ඒත් ඇත්ත ඒක නෙමෙයි කියලා ඔබ මොහොතකට හරි හිතන්න උත්සාහ ගත්තද. නියම සැපය මොකද්ද කියලා ඔබ මොහොතකට හරි හිතුවද.


අපි දුක් වෙනවා අපි කැමති දේවල් අපට නොලැබෙනකොට. ඒ කියන්නෙ අපි අකමැති දේවල් අපිට ලැබෙනවට අපි කැමති නැහැ. ඒ වගේම අපි කැමති දේවල් අපිට ලැබෙනකොට අපි සතුටු වෙනවා. අපි සතුටු වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදියට ලැබුණොත් විතරයි. ඒත් සමහර වෙලාවට ඒ දේවල් වලිනුත් අපි තෘප්තිමත් වෙන්නෙ ගොඩක්ම අඩුවෙන්.


මිනිස්සු අසීමිත ආසාවන් පස්සෙ හැල්මෙ දුවනවා කියලා මට හිතෙනවා. හති වැටෙන දවසක් ඒවිද කියලා හිතන්න මොහොතක් හරි පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වැදගත්. එහෙනම් මොකද්ද ඇත්ත. අපි මේ දුක් වෙලා ලබා ගන්න කිසිම සැප සම්පතක් සදාකාලික නැහැ නේද. මොහොතක සතුට සැනසුම වෙනුවෙන් අපි ලක්ෂ ගණනින් මුදල් පවා වියදම් කරනවා. ඒත් ඒ සතුට සදාකාලික සැපයක් නම් නෙමෙයි.


අපි කැමති දේවල් අපිට නොලැබෙනකොට අපි දුක් වෙනවා තමයි. ඒත් ඒක තමයි මේ ලෝකෙ තියෙන උතුම්ම සැපය. ඒ වගේම අපි කැමති දේවල් අපිට ලැබෙනකොට අපි මහා ඉහළින් සතුටු වෙනවා. ඒක තමයි මේ ලෝකෙ මිනිස්සු දකින්න අකමැති වුණත් විඳින්න අකමැති වුණත් මහා සැපය වන්නේ. ඒක තමයි සැබෑ යථාර්තය වන්නේ.


ඔබ හිතයි ඒක කොහොමද එහෙම වෙන්නෙ කියලා. අපිට දෙයක් අහිමි වෙනවා නම් ඒක තමයි සැපය. අපිට දෙයක් හිමි වෙනවා නම් ඒක තමයි දුක. මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් ඔබටත්. හැබැයි නුවණින් විමසා බැලූවොත් පමණයි එය කළ හැක්කේ. අපි කැමති දේවල් ලබා ගන්න අපි බොහෝ වෑයම් කරනවා. වෙහෙසෙනවා. අන්තිමේ ලබා ගන්නවා. ඒ කියන්නෙ අපි තවත් ආසාවන් පස්සෙ යනවා. ලැබෙන්න ලැබෙන්න තවත් ලබා ගන්න පොර කනවා. ඒත් නිමාවක් නැහැ නේද. අන්තිමේ මියැදෙන්නෙ ඒ හැම භෞතික සැප සම්පතක්ම දාලා. වෙන්නෙ එකම එක දෙයයි. අපි මේ ඇවිදින සංසාර ගමන තවත් අපි දික් කරගන්නවා. බැඳීම් ආසාවන් එක්ක සැපයි කියන මුලාවෙන් වැහුණ දුක එකතු කරගෙන අපි කර ගන්න හදන්නෙ ඒ දේ නේද. ඒක නිසා තමයි හිමි වීම නිසා අපිට දුක ලැබුණා කියලා හිතන්න නුවණ වෙහෙසන්න කියලා මම ඔබට කිව්වෙ.


ඒත් එක්කම අපි අපිට නොලැබෙන දේවල් පස්සෙ කොතෙක් නම් හඹාගෙන යනවද. කොයි තරම් නම් ඒ නොලැබීම් නිසා අපි අඩනවද වැළපෙනවද. දුක් වෙනවද. ආශාවන් පස්සෙ හඹාගෙන ගිහින් අපි හිතා මතාම දුකට පත්වෙනවා නේද. සමහර විට අපිට ඒ දේ ලැබෙන්න පුළුවන්. ඒත් අපි හිතන ආකාරයටම අපි බලාපොරොත්තු වුණ ආකාරයටම ඒ දේ අපිට ලැබුණෙ නැහැ කියලා ඊළඟට අපි ආයෙමත් දුක් වෙනව නේද. බලන්න අපි සැපයි කියලා රැුවටීම්වලට මුලාවීම්වලට අහුවෙලා නේද. නොදැනීම වෙලා තියෙන්නෙ ඒ දේ නේද. අවසානයේ ආයෙමත් අපි සංසාරෙ කිළිටි කර ගන්න උත්සාහ ගන්නවා. දුක දකින්න දුක විඳින්න අපි කැමති නැහැ.


මේ කෙළවරක් නැති දුක් සහිත ගමන නිමා කර ගන්න නේද අපිට ඕන. එහෙනම් කිසිම දෙයක් හිමි නොවුණා කියලා දුක් වෙන්නවත් හිමි වුණා කියලා ඕනවට වඩා සතුටු වෙන්නවත් එපා. හිමි වුණා කියලා දුක් වෙන්න. හිමි නොවුණා කියලා සතුටු වෙන්න. බැඳීම් වලින් තොර ජීවිතේ එතකොටයි සැබෑම ජයග‍්‍රහණය.


ජීවිතේ පුදුමාකාර නිදහසක් සැහැල්ලූවක් ලබාගන්න නම් එයමයි ඔබ විසින් කළ යුත්තේ..

Friday, August 12, 2011

ඔබ වගේ...





ඔබ වගේ

ඔබම පමණයි..

ඔබම පමණයි..

Thursday, June 23, 2011

ඔබද මාද විය .‍. මාද ඔබම විය ..




ඔබද මාද විය
මාද ඔබම විය
ඔබද මාම විය
මාද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරුරැස්‌ විහිදුණු මොහොතේ
ඔබද මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහස්‌ වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

ගායනය - මාලනී බුලත්සිංහල
රචනය - බණ්‌ඩාර කේග විඡේතුංග
සංගීතය - ප්රේ‌මසිරි කේමදාස
චිත්රයපටය - ,මධුසමය,


පුදුම මහිරි ලස්සන ගීතයක්. අහලා නැතිනම් ඔබත් අහන්න. කියන්න බැරි තරම් ලස්සනයි නේද. ආදරය හරිම පුදුමාකාරයි.






Monday, June 20, 2011

මොහොතක් හිතන්න ..

මේ සංසාරෙ හිතාගන්න බැරි තරමටමට දුරයි. අපිට පෙනෙන නොපෙනෙන තරමටම. ඉමක් නොපෙනෙන මේ සංසාරෙ කෙළවරක් දකින එක තමයි අපේ ජීවිතවල අරමුණ විය යුත්තේ. ඒ අරමුණ කරා යන්න නම් අපි අපේ ජීවිතවල යහපත් පදනමක් ගොඩ නඟා ගත යුතුයි. විවිධ ජීවිත උරුම කරගෙන කෝටි ප‍්‍රකෝටි වාර ගණන් අපි මේ සංසාරෙ පුරා ඉපදෙමින් මිය යම්න් මේ සංසාරෙ කෙළවරක් දකින්න වෙහෙසෙනවා. මිරිගුවක් පසුපස දුව ගියපු හති වැටුණ ගමනක නිමාවක් දකින්න නෙමෙයි අපිට ඕන. කල්ප ලක්ෂ ගණන් ජීවිත වලට අපි උරුම කම් කියන්න ඇති. ඒත් අපි ලබපු ඒ හැම ජීවයකටම වඩා මනුසත්වයෙක් වෙන්න අපි සිය දහස් ගණනින් පින් කළ යුතුමයි. එහෙම පින් කරලා අපි ලබා ගත්ත මේ මිනිස් ජීවිතේ ඔහේ පාවෙලා දියවෙලා යන්න නොදී රැක ලබා ගන්න ඕන නේද? ආයෙමත් වතාවක් අපිට මේ ලැබුණු මිනිස් ජීවිතේ ලැබෙන්න තියෙන අවස්ථා බොහොම අල්පයි. ඒ නිසාම වෙහෙසෙන්න. මිනිස් ජීවිතවල තියෙන දුලබ බව වටිනාකම තේරුම් ගන්න. සංසාරෙ එගොඩටම පීනන් යන්න අරමුණක් ඇති කර ගන්න එතකොට ඔබට පුලූවන් වේවි.

ලැබුණ ජීවිතවලිනුත් පැනලා දුවන්න හදන මිනිස්සු හරිම සුලභයි මේ ලෝකෙ. දුක සැප දෙකම පොදි බැඳන් අපි හැමෝම මේ ලෝකෙට පය තියන්නෙ. කෙනෙකුට සැප තවත් කෙනෙකුට දුක කියලා ඒ දෙක බෙදලා වෙන් කරලා නැහැ. පුංචි පුංචි නවාතැන් පහු කරන් අපි මේ යන සංසාර වන්දනා ගමන නිමා කරන්න ඕන. ඒ පුංචි නවාතැන්වලදි අපිට දුක සැප දෙකම උරුම වෙනවා. ජීවිත හරිම කෙටියි. ඒ ජීවිත වලදි අපිට ලැබෙන සතුට ඊටත් වඩා කෙටි වෙන්න පුලූවන්. ඒත් සතුට ලැබුණෙ නැහැයි කියලා දුක විතරයි උරුම කියලා ජීවිතේ අසුභවාදීව නොහිතන්න තමන් තුල ශක්තියක් ඇති කර ගන්න. ජීවිතේ හරි සැපයි කියලා තුරුලූ කරන් ඉන්නෙ දුකක් බවත් ජීවිතේ හරි දුකයි කියලා සංසාරෙ සැප හොයාන යන්න ලැබුණ අවස්ථාව මඟ හැර ගන්න එපා කියලයි මං ඉල්ලන්නෙ. හිතන්න ශක්තියක් තියෙන හැම මනුස්සයෙක්ගෙන්ම. එතකොට මේ සංසාර අරමුණ ඇත්තටම ජය ගන්න ඔබට පුලූවන් වේවි..

Wednesday, June 8, 2011

මම නුඹව පැතූවෙමි...

සංසාර දුර ඈත

මිනිස් බව ලැබූයෙමි..

නිවන්නට මගේ සිත

බුදු බණක් ඇසූයෙමි..

නිවන් මඟ සරන්නට

බුදු සරණ පැතූයෙමි..

සංසාර පුරාවට

මම නුඹව පැතූවෙමි...

මම නුඹේ ළඟ තවම..

සරල දිවියෙහි අගය දැහැමි බව දුටිමි මම

නිබොරු බව හා නොබිය චරිතයක් දුටිමි මම..

සිත නිවන දුක නිවන සිටින සැටි දුටිමි මම

සංසාර පුරුද්දට මම නුඹේ ළඟ තවම..

Wednesday, April 6, 2011

නෙතට උළෙලක් විය එදා ඔබ..

ජීවිතේ මහා පුදමාකාරයි. ආදරේ ඊටත් වඩා පුදුමාකාරයි නේද. කෙනෙක්ගෙ හිතට සුවය සැනසුම ගෙනෙන සතුට ගෙනෙන ජීවිතේට ජීවය දෙන උතුම්ම මානුෂීය බැඳීමක් තමයි ආදරය කියන්නෙ. අපිව සතුටින් මුසපත් කරවන අපේ සිත් සැහැල්ලූවට පත් කරන අපේ තනිකම නිවන මෙන්න මේ ආදරය කෙනෙකුගෙ හිතට විටෙක සතුටක් වගේම විටෙක මහා වේදනාවක් ගෙන දෙන අපූරුව.

‘‘ඔයා තමයි එදා මගේ ඇස් වලට මගේ හිතට සතුට ගෙනාවෙ. දරා ගන්නත් බැරි තරමටම ඔයා මට ආදරේ කළා. ඔයා තමයි ජීවිතේ හැම මොහොතකම මාව සතුටින් තිබ්බෙ. මාව ඔයාගෙ ජීවිතේම කොටසක් කරගෙන ඔයා මට ආදරේ කළා. අපි සතුටින් ආ ගිය තැන්. ඇවිදපු තැන් මට මතක් වෙනවා. ඒත් කිසිම දවසක මම හීනෙන්වත් නොහිතපු විදියට ඔයා අද මගේ හිත පාරනවා. ඔයා මට පොරොන්දු වුණා. කවමදාවත් මගේ හිත රිද්දන්නෙ නැහැ කියලා. ඒත් අනේ මගේ හිත රිදෙනවා. අද මම අඩනවා. මම ඔයාට ආදරෙයි. ඔයා මගේ හිත රිද්දනවා. මට කියන්න. මොකක්ද මගෙන් ඔයාට සිද්ධ වුණ වැරැුද්ද. ඒත් කමක් නැහැ. මම ඔයාට ආදරෙයි. ඔයා නැති ජීවිතයක් මට හිතාගන්න බැහැ. ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ. ඒ තරමටම මගේ ජීවිතේ මට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ඔයා මතම රැුඳිලා. හරි පුදුම විදියට. ඒක වෙන කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි තරමටම මහා පුදුම බැඳීමක්. ඉතින් ඔයා යන්න එපා. යන්න එපා. ඔයා ගියොත් මට සතුටින් ජීවත් වෙන්න බැරි වෙයි. එහෙම වුණොත් ඇත්තටම එහෙම වුණොත් ඒක මට දරා ගන්න අමාරුයි.

මං එහෙම කියන්නෙ ඔයා මටම අයිති කර ගන්න තියෙන ආත්මාර්ථකාමී අදහසකින් නම් නෙමෙයි. මම ඔයාට ආදරෙයි. මම එහෙම කියන්නෙ දරා ගන්න බැරි තරමටම මම ඔයාට ආදරේ හින්දා. අනේ සමාවෙන්න. ඒක ආත්මාර්ථකාමී හැඟීීමක් කියලා ඔයාගෙ හිත රිද්දනවා නම්. ඔයාව මේ ලෝකෙ තවත් කෙනෙකුගෙ ඇස්වලට සොඳුරු දසුනක් වුණාට කමක් නැහැ. තවත් කෙනෙක්ගෙ හිතේ ඔයා ගැන ආදරේ ඇති වුණාට කමක් නැහැ. ඒත් මම කියන්නෙ ඔයාව තවත් කෙනෙක්ට අයිති වෙන්න දෙන්න නම් බැහැ. ඔයා අයිති මට. එහෙම කිවුවෙ ඔයාමයි. ඔයාට මතකයි නේද ? මම ඔයාට ආදරෙයි.. මට බලාගෙන ඉන්න බැහැ ඔයා තවත් කෙනෙක්ට අයිති වෙනවා. ඒ ඔයා මට පුදුම විදියට ආදරේ කරපු නිසා. මමත් ඒ තරම්ම ඔයාට ආදරේ නිසා.’’


අපේ රටේ ප‍්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ නම් වූ මහාර්ඝ ගායකයාණන් විසින් තමයි මේ අපූරු ගීතය ගායනා කරන්නෙ. ඔබත් මේ ගීතයට බෙහෙවින්ම ඇළුම් කරනවා ඇති. හරිම අපූරු පද වැලක්. පද රචකයා නම් හොයා ගන්න බැරි වුණා. ඔයාලා දන්නවා නම් මට කියන්න. ඇත්තටම ආදරේ හරිම පුදුමයි. එක් එක් අය ආදරේ විඳින විදිය විවිධයි. ආදරය දකින විදිය විවිධයි.

මම මේ ලියන්න උත්සාහ ගත්තෙ මේ ගීතයේ ගැබ් වෙලා තියෙන දේ. මේ විදියට මේ අත්දැකීමෙ හැඟීීම් මට දැණුනා. මට ගොඩාක් දුක හිතෙනවා මේ පද වැල ඇහෙනකොට. හරිම සංවේදී පුදුම ලස්සන ගීතයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා හරිම බොළඳ අදහස් කියලා. ආදරය කියන දේ වෙලාවකට කෙනෙක්ව හසුරුවන්නෙ හරියට පුංචි ළමයෙක්ව හසුරවනවා වගේ කියලා මට හිතෙනවා. ආදරේ සුන්දරකම වැඩි වුණාම බොළඳයි කියන අදහස එන්න පුළුවන්. ඒ වගේම දුක්බර ගීතයක් ලස්සන වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. වේදනාබර පද වැලකට වුණත් මිහිරි තනුවක් යොදලා සියුම් කට හඩකින් ඔපවත් කළාම අමිහිරි අත්දැකීමක වුණත් මිහිරක් විඳින්න අපිට පුළුවන්. ඔබත් රස විඳින්න මේ ගීතය. මම කියපු දේවල් සමහර විට ඔබටත් දැනේවි...

නෙතට උළෙලක් විය එදා ඔබ


කඳුළු බිඳුවක් වුව මෙදා


මේ තරම් හිත පාරවන්නේ


මගෙන් වරදක් වුණිද මන්දා.....

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන


සිතන්නටවත් නොහැකි හින්දා


ඔබේ සිත වෙන අතක රන්දා


එපා දුක ගෙන එන්න කැන්දා.....


ඔබේ නෙත රසඳුනක් වූවට


කමක් නැහැ මට තවත් ඇසකට


නමුදු ඒ රුව තවත් කෙනෙකුට


අයිති වනු බැහැ දරා ගන්නට.....



Thursday, March 31, 2011

ආදරේ දෝරෙ ගලා යන තරම්...


ගණ අඳුරු රැයක් වී

හැඬූ විට ජීවිතය...

පැතුම් දී එළි කළා

පුර හඳක් ‍සේම

නුඹ ...

Tuesday, March 8, 2011

නිදි නැතිව කවි ලියමි..

නුඹ නමින් මඟ බලමි
නිදි නැතිව කවි ලියමි
සඳ මඩල පුරාවට...

Thursday, February 24, 2011

ආදරයත් හරියටම වැස්ස වගෙයි...


පසුගිය දිනවල ඇද හැලූණූ මහ වැස්ස නිසා මිනිස්සු කොයි තරම් නම් අසරණ වුණාද ? ඇත්ත තමයි. මහා මුරුගසන් වර්ෂාවක් දින ගණනාවක් ඇද හැළිලා අපේ රටේ ලක්ෂ ගණන් මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි කළා. එහෙම වෙනකොට ආයෙත් නම් වැස්ස එපා කියන ප‍්‍රාර්ථනාව කී දෙනෙක්ගෙ නම් මුවින් පිටවෙන්න ඇතිද ? ඒත් වැස්ස නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද ?

මට හිතෙන්නෙ ආදරයත් හරියට වැස්ස වගේ. කෙනෙකුගෙ හිතක් නිවන්න, සනසවන්න, සැහැල්ලූවට පත් කරන්න පුළුවන් එකම මානුෂීය බැඳීම ආදරය කියලා මට හිතෙන නිසයි මම එහෙම කියන්නෙ.

වැස්සක් වැස්සාම අපේ ගතට දැනෙන සිසිලස, සැනසුම, මිහිර, සැහැල්ලුව අපමණයි. වැස්ස ලැබෙනකල් සමහර මිනිස්සු මඟ බලාගෙන ඉන්නවා. වැස්ස ලබා දෙන්න කියලා අහස දිහා බලාගෙන පැතුම් පුරන ප‍්‍රාර්ථනා කරන අපමණක් මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ජීවිත ගැට ගහගන්න වැස්ස නැතිවම බැරි සාධකයක් වුණ මිනිස්සු ඒ විදියට වැස්ස ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

ඒ නිසාමයි මම කිව්වෙ ආදරයත් හරියටම වැස්ස වගෙයි කියලා. මිනිස්සුන්ට ආදරය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද ? හිතට සැනසීීමක් හිතේ දුකක් තැවීමක් නිවා ගන්න බැරුව ළතැවෙමින් ජීවත් වෙන්න පුළුවන්ද ? ඒක හරිම අමාරුයි නේද ? ආදරය කියන මහා ප‍්‍රබල මිනිස් හැඟීමට පුළුවන් මනුස්සයෙක්ට ජීවිතේ දෙන්න. ආදරයත් එක්ක මනුස්සයෙකුගෙ හිතේ ඇති වෙන සතුට පුදුම විදියට ඒ කෙනාව ජීවත් කරනවා.

මටත් ඒ සතුට දැනෙනවා. ආදරය මිනිස්සුන්ගෙ හිත් නිවන තරම්, මිනිස්සුන්ගෙ හිත් සනසන තරම්, නළවන තරම්.. ඒ දේ මට හොඳටම දැනෙනවා. ඇත්තටම ඒ දේ මට මහා මෙරක් තරමටම දැනෙන්නෙ ඔබ නිසා. මම ආදරය කරන මට ආදරය දුන් ඔබ නිසා. හරියටම වැස්සක් වගේම ඔබේ ආදරේ මගේ හිත නිවනවා. ඒ නිවෙන සැනසුම මට දුන්න නුඹට බොහෝ පිං.

Friday, January 7, 2011

සංසාරේ පාර දිගේ ...පෑයූ මගෙ තාරුකාව..


පුළුන් වළාකුළෙන් නැඟුණු
ලෝ දිදුලන තාරකාව
සඳේ සිසිල විඳිමින් හිඳ
පොළොවට ආ තාරුකාව...
නෙක ලෝ දන මිමිණූවත්
නෙසැලී සිටි තාරුකාව
සංසාරේ පාර දිගේ
පෑයූ මගෙ
තාරුකාව
නුඹමයි ඒ
තාරුකාව...